මෙම පූජනීය ස්ථානය දැනට වසර 2320කටත් වඩා ඈත යුගයක සිට ආරක්ෂාරීව පැවත තිබේ. සුප්‍රසිද්ධ කළුතර පුරවරය අතීතයේදීද ලංකා රාජධානිවල අතිශය වැදගත් නගරයක් වූ බවට මහාවංශය සාක්‍ෂි දරයි.එනම් මෙම නගරය ගංගා මුවදොරක් අසළ පිහිටා තිබීම නිසා තොටුපොල නගරයක් සේ භාවිතයට අතිශය යෝග්‍යය වීමයි. කළුතර බෝධියේ උඩ මළුවේ වැඩ සිටින්නේ අනුරාධපුර ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේගෙන් පැන නැගුනු දෙතිස් ඵලරුක බෝධීන් වහන්සේ නමක් බව මහා බෝධි වංශයේ සඳහන් වේ.එහි “මහා ජල්ලික”නම් ගමක් ගැන සඳහන් වන අතර එම ගම කළුතර බැව් අවිවාදයෙන් පිළිගැනේ. 1921 වර්ෂයේ දී තවත් දානපතියන් හා ඵක්ව පහත මළුවේ බෝධීන් වහන්සේගේ සංවර්ධනයට නීතීඥ “ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතා” විසින් පියවර ගෙන ඇත. 1939 වන විට පහත මළුවේ කුඩා චෛත්‍ය හා ගඟ ආසන්නයේ බුදු මැදුර තැනීම ආරම්භ කර ඇත. 1953 වන විට පිහිටවා ඇති අතර පසු කලෙක ඊට පහල හා උඩ මළුවේ හිමිකාරත්වය ලැබී ඇත උඩ මළුවේ වන දැවැන්ත චෛතය්‍යට මුල්ගල තබන ලද්දේ 1964 දී වන අතර, ඊට 1974 දී කොත් පැළදවා ඇත.මෙම සියළුම බෝධීන් වහන්සෙලාගේ නිරන්තර සෞඛ්‍ය තත්වය සොයා බැලීමට ඵ් සඳහාම විශේෂතා ඇති වෛද්‍යවරුන්ද යොදා තිබීම විශේෂත්වයකි.වර්තමානයේ එම කටයුතු සිදු කරන්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ හිටපු අධ්‍යක්‍ෂ උද්භිත විද්‍යාඥ B.සුමිත්‍රාරච්චි මහතායි.
1. උඩ මළුවේ වැඩ සිටින දෙතිස් ඵලරුක බෝධීන් වහන්සේ
වර්ෂ 2320 කටත් වඩා ඉපැරණි මෙම බෝධීන් වහන්සේ ලෝකයේ පැරණිතම වෘක්‍ෂය වන "ශ්‍රී මහා බෝධීන් වහන්සේ"ගේ දෙවන අංකුර පෙළට අයත් වේ.මහා බෝධි වංශය සඳහන් කරන පරිදි කළුතර බෝධි පරිශ්‍රයේ උඩ මළුවේ වැඩ සිටින්නේ එම දෙතිස් ඵලරුක බෝධීන් වහන්සේයි
2. පහළ මළුවේ වැඩ සිටින බෝධීන් වහන්සේ
උතුරින් කළු ගගට යාබද බුදු මැදුරෙන් ද, නැගෙනහිරින් ගාලු-කොළඹ මහා මාර්ගයෙන් ද,දකුණු පසින් කුඩා චෛත්‍ය වහන්සේටත් බටහිරින් ගාලු-කොළඹ දුම්රිය මාර්ගයටත් මැදි වූ කුඩා වපසරියක වැඩ සිටින මේ මහා බෝධි වෘක්‍ෂය ක්‍රි.ව.1042ක් පමණ ඉතිහාසයකට හිමිකම් කියයි.
3.පහළ මළුවේ උතුරු පස බුදු මැදුර
පහළ බෝධියට උතුරු පසින් මෙම බුදු මැදුර පිහිටා ඇත.කලු ගඟට යාව බැම්මක් බැඳ එහිපස් පුරවා සාමාන්‍ය මේසන් බාස් වරු ලවා මෙහි නිම කිරීම් කලද, මේ තාක් කිසිම උපද්‍රවයකට ලක්ව නොතිබීම විශේෂත්වයකි.ශාන්ත ඉරියව්වකින් වැඩ හිඳිනා සැරියුත් මුගලන් අගසව් දෙනමගේ පිළිමයන් මෙම බුදු මැදුර තුළ නෙලා ඇත.සිදුහත්උපත, කිරිපිඬු පූජාව, ශ්‍රී මහාබෝධීන් වහන්සේ ලංකාවට වැඩම කිරීම වැනි ඓතිහාසික කතාවන් හා නෙළුම් මල් රටාවන් මනාව තෙලි තුඩින් සිත්තම් කිරීම තුළින් බෞද්ධවිහාරයක අංග ලක්ෂණයන් මෙම බුදුමැදුර තුල විදහා පා ඇත.
4. පහළ මළුවේ චෛත්‍යය
පහළ මළුවේ බෝධීන් වහන්සේට දකුණු පසට වන්නට පිහිටා ඇති මෙය ප්‍රමාණයෙන් කුඩාය. වර්ෂ 1939 දී පමණ මෙහි ආරම්භය සිදුවූ බව සඳහන් වේ. මෙම චෛත්‍යයත්,ගංගාව අසල බුදු මැදුරත් ඵකම කාලයක ඇරඹුනු බව දැක්වේ. මෙම චෛත්‍යය වන්දනා කිරීමට සතර අතට විහිදුනු කුඩා බුදු කුටි 4ක් හා මල් ආසන 4ක් නිමවා ඇත. ක්‍රි.ව. 1942 වසරේ වැඩ අවසන් වූ පසු ඵම වසරේම මැයි මස වෙසක් පුර පසලොස්වක පොහෝ දින ඊට කොත් පලඳවා තිබේ.
5.පහළ මළුවේ දකුණු පස බුදු මැදුර
පහළ මළුවේ චෛත්‍යට දකුණු පසට වන්නටත් ආනන්ද බෝධීන් වහන්සේට උතුරු පසට වන්නටත් මෙම බුදු මැදුර පිහිටා තිබේ.අතීතයේ මේ ගොඩනැගිල්ල නගර සභා කාර්යාල ගොඩනැගිල්ලට අයත්ව පැවතුනු අතර 1960-70 වර්ෂ තුල කච්චේරියට අයත් ගොඩනැගිල්ල බෝධි භාරකාර මණ්ඩළයට පවරා ගැනීම මත මේ ගොඩනැගිල්ලද පවරා ගන්නා ලදී.පසුව ධර්ම ශාලාවකට ඔබින අයුරින් සකසන ලද එහි විශාල හිඳි පිළිමයක් අඹා පුද පූජා හා ධර්ම ශ්‍රවණයට උචිත වන අයුරින් සකසා තිබේ.
6.උඩ මළුවේ මහා චෛත්‍යය රාජයා (වටදාගෙය)
1964 දී විශාල වටදාගෙයක් තැනීමට මුල්ගල තබන ලදී.වටදාගෙය පිහිටි මෙම භූමියේ වර්ගඵලය වර්ග අඩි 7150කි. චෛත්‍යයේ විෂ්කම්භය අඩි 95.4කි.මෙහි උස අඩි 185 කි. වට ප්‍රමාණය අඩි 335කි.අගල් 5ක ඝනකමින් යුත් කොන්ක්‍රීට් තට්ටුවකින් චෛත්‍යය රාජයා නිමවා ඇත. මෙහි තීන්ත ආලේපයට ගතවන්නේ සතියක කාලයකි. අති දැවැන්ත ප්‍රාකාරයක් මේ වටා සාදන ලද අතර, වටදාගෙයි අනුරූ 4 කින් සිව්කොන සරසා තිබේ. වටදාගේ ඇතුලත බිත්තියේ පන්සිය පනස් ජාතක කථාවේ සම්බුද්ධ චරිතයේ විවිධ තැන් නිරූපනය කරන්නා වූ විචිත්‍රවත් චිත්‍ර 75කින් යුක්ත වේ. මෙය චෛත්‍ය කුහරයට ගමන් කල හැකි ලොව ඇති ඵකම චෛත්‍ය ද වෙයි. මේ මහා විශ්වකර්ම නිර්මාණය 1974 ජනවාරි 24 දින උත්සවාකාරයෙන් කොත් පැළද, පූජනීයත්වයට පත්කර තිබේ.
7. වටදාගෙය මධ්‍යයේ ඇති කුඩා චෛත්‍යය
මෙම විශ්මිත වටදාගෙය මධ්‍යයේ උස අඩි 6ක චෛත්‍යයක්(කුඩා ප්‍රමාණයේ) පිහිටා තිබේ. සාම්ප්‍රදායික චෛත්‍යක සියළු කලා නිර්මාණයන් නිරූපණය කොට මෙම චෛත්‍යය නිමවා ඇති අතර සතර අතට මුහුණ ලා සමාධි සුවයෙන් වැඩ සිටින බුදුරදුන් නිරූපිත හිඳි පිළිම 4 කින් හා මල් ආසන 4 කින් මෙය අංග සම්පූර්ණ චෛත්‍යයක ලක්‍ෂණ විද්‍යාමාන කරයි. මෙහි ධාතු නිධානය හා කොත් පැළඳවීම 1980-02-28 දින සිදුවිය.පිවිසෙන මග දොරටු 2 කින් සමන්විතයි. ඵ් උතුරු පසින් හා දකුණු පසින්ය. මකර රූ දෙකකින් හා සඳකඩ පහනකින් මේ දොරටු දෙපස අලංකාරව සරසා ඇත. මේ විශ්මිත වටදාගෙය ශ්‍රී ලාංකේය ඉදිකිරීම් කලාව ලෝක තලයට ගෙනගියා. අදටත් මෙහි භූමි නිර්මාණය, සැලසුම්කරණය හා තාක්‍ෂණය දෙස් විදෙස් ඉංජිනේරුවන් පවා මවිත කරන්නට සමත්ය. මෙම පූජා භූමිය පුරාවටම ඉහලම තාක්‍ෂණයක් උපයෝගී කරගත් ජල රටා පද්ධතියක් ද ඇති බැව් කියවේ.
8. ධර්ම ශාලාව
ඉපැරණි කච්චේරිය පැවති ස්ථානය ලෙස සැලකෙන මෙම භූමි භාගයේ මෙම සුවිසල් ධර්ම ශාලාව ඉදිකර ඇත.කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ හා බෞද්ධ ජනතාවගේ ආධාරයෙන් මෙහි නිමැවුම සිදුවී ඇති අතර 1994-05-13 වෙසක් පොහෝ දින එවකට ජනාධිපති D.B. විජේතුංග මහතා අතින් විවෘත කරන ලද බව සඳහන් වේ. ශ්‍රී ලංකාවේ පමණක් නොව ආසියාවේ ද විශාලතම ධර්ම ශාලාව වන මෙහි ඇති ප්‍රයෝජනය පසක් වන්නේ පුර පසලොස්වක පොහෝ දිනයන්ට පෙහෙවස් සමාදන් වන උපාසක උපාසිකාවන් දහස් ගණනකට ඉඩ හසර ලබා දෙන සෙවනක් බැවිනි.
9. සක්මන් මළුව
කළු ගං ඉවුරට යාබඳව කොන්ක්‍රීට් වැටකින් සීමාකර ගං ඉවුර දිගේ පටු තීරුවකින් සමන්විත මෙම වැලි මළුව පහන් සිතින් භාවනානුයෝගීව සක්මන් කිරීමටත් සිත සංසුන් කරගැනීමටත් හැකි ස්වභාවික පරිසර පද්ධතියකින් හෙබි බිමකි.මෑත කාලයේ වර්ෂ 2000-05-17 වෙසක් දිනබෝධි භාරකාරමණ්ඩලයේ සංවර්ධන ව්‍යාපෘති යටතේ මෙය නිර්මාණය කර විවෘත කරන ලදී.
👍👍👍
ReplyDelete