සිරිසර කන්ද උඩරට සෙංකඩගල පුරවර සුවිශුද්ධ බුද්ධාදී තෙරුවන් ගුණ මහිමය ප්‍රත්‍යක්‍ෂයෙන් මූර්තිමත් කරන ශීලාදී ගුණාභරණ විභූෂිත මහාසංඝරත්නය සතත නිසේවිත බෞද්ධා බෞද්ධ ජනීජනයන්ගේ වන්දනාමානන පූජා සත්කාරයන්ට භාජන වූ අස්ගිරි විජය සුන්දරාරාම රජමහා විහාරස්ථානය මනනන්දනීය වූ පුණ්‍යභූමියකි.
ශත වර්ෂ දෙකකට අධික ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ අන්තිම රාජධානිය වූ සෙංකඩගල පුරවරයෙහි රාජ්‍ය හෙබවූ රජවරුන් දෙදෙනෙකුගේ අනුග්‍රහයෙන් දිසාරාළහාමි, හා සේනාපති උතුමන්ලා විසින් කරවූ විහාර දෙකකින්ද, ඓතිහාසික උපෝසථාගාරයෙන්ද මෑත භාගයේ ගිහි පැවිදි උතුමන් විසින් කරවන ලද ධර්මශාලා, ආරාම තොරණ බෝධිප්‍රාකාර ළිං, පොකුණු ආදී සියලු විහාරාංගයන්ගෙන් මෙම විහාරය සමලංකෘත වේ.
මෑත භාගයේ සසුනඹර දිලුනු පහන් තරුවක් වූ වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේගේ මහෝත්සාහයෙන් ශ්‍රී සම්බුද්ධ ශාසනය නගාසිටුවීම සඳහා එකළ රජකරවූ ශ්‍රී වික්‍රමරාජසිංහ මහ රජතුමන්ගේ ශ්‍රද්ධා කුසල බලමහිමයෙන් කළ උදාර පුණ්‍යක්‍රියාවන් අතර මෙම අස්ගිරි විජය සුන්දරාරාම පුරාණ විහාරයද, විශිෂ්ට වේ. රජතුමාගේ ප්‍රධාන ඇමැති වශයෙන් ක්‍රියා කළ පිළිම කලාවේ විජය සුන්දර රාජකරුණා හතර කෝරළේ දිසාරාළහාමි විසින් කරවා ක්‍රි.ව. 1776 දී එදවස අස්ගිරි මහපදවිය දැරූ උරුළෑවත්තේ ශ්‍රී පි‍්‍රයදර්ශී ධම්ම සිද්ධි ස්‍යාමෝපාලි මහනිකායේ ප්‍රථම මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට රජතුමාණන්ගේ ප්‍රධානත්වයෙන් පූජා කරන ලදී.
ප්‍රමාණයෙන් කුඩා වූවද ආකෘතිය හා විහාරාංග මෙන්ම චිත්‍ර හා මූර්තිකලා නිර්මාණයෙන් සම්පූර්ණ මෙම විහාරය දර්ශන මාත්‍රයෙන් මෙහි රාජකීයත්වය හා උදාරත්වය ප්‍රකට කෙරේ. මහනුවර සමයේ නිර්මාණ කළ සුවිසාල ශිලාමය බුද්ධ ප්‍රතිමාව ඇති අස්ගිරි විජයසුන්දරාරාම අලුත් විහාරය සමකාලීන විහාර කර්මාන්ත ශිල්පයේ පරිණත දක්‍ෂභාවය ප්‍රකට කෙරේ. මෙම විහාරය කරවීමේ අරමුණ ආදී සියලු විස්තර විහාරය පිටුපස ඇති ශිලාලේඛනයේ දැක්වේ.
මෙම ශිලාලේඛනයෙන් ප්‍රකට වන ප්‍රධාන කාරණා වන්නේ, මෙම විහාර කර්මාන්තය කිරීමේ පරමාර්ථ, විහාරය තුළ පවතින නිර්මාණ , විහාර පාලනයට පූජා කළ ගම්බිම් පිළිබඳවයි.
මෙම විහාරය කලක් ජරාවාසවී විහාරයේ අධිපතිව වැඩ විසූ යටවත්තේ ශ්‍රී ධම්මරතනාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පිළිසකර කරවා ව: 1954 දී අභිනව කේතුපිලන්ධන මහෝත්සවය පවත්වා ජනතාවට පහසුවෙන් වන්දනමානන කිරීමට සලස්වන ලදී. මහනුවර සමයේ පැවති ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ වාස්තුවිද්‍යාත්මක ඤාණය, චිත්‍ර මූර්ති කලාව පිළිබඳ පරිණත බුද්ධිය, රාජකීයයන්ගේ ශ්‍රද්ධාභක්තිය, විහාරපාලනය මෙම මහා විහාරයෙන් ප්‍රකට කෙරේ.
අස්ගිරිමහාවිහාර පහළ පන්සල් ආරාම මධ්‍යයේ අභිනව උපෝසථාගාරය කරවා උපසපන් විනය කර්ම ප්‍රධානව සංඝකර්ම කිරීම නිසා මෙය කලක් අභාවිතයෙන් ජරාවාසයට ගොස් යළි සංස්කෘතික ත්‍රිකෝණයෙන් පිළිසකර කරවන ලදී. ඉතා මනහර උස්භූමියක පිහිටි බෝධීන් වහන්සේ පිළිබඳව ඓතිහාසික තොරතුරු නැති වූවද මුඛ පරම්පරාගත විස්තර අනුව මෙම විහාරස්ථානය ආරම්භ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන්ගේ අනුග්‍රහයෙන් අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් අංකුරයක් වැඩමවා මෙම අස්ගිරි විජය සුන්දරාරාම විහාරස්ථ උස්බිම් තලයේ රෝපණය කළ වග ප්‍රකට වේ. එම බෝධීන් වහන්සේ වටා අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා වඩා හිඳුවා අලංකාර ප්‍රාකාර විදුලි පහන් කනු හා සෝපාන පෙළ සකස් කර තිබේ.
අස්ගිරිය, මාපනාවතුර, දොඩන්වල, බහිරව කන්ද ආදී සතර පේරුවේ දායක පින්වතුන්ගේ ආගමික කාර්යන් ඉෂ්ට සිද්ධ කර ගැනීමෙහි කේන්ද්‍රස්ථානය වූ මෙම විහාරස්ථානය, චෛත්‍ය, ධර්මශාලා තොරණ පහන්වැට ආරාම මුළුතැන්ගෙවල්, පුස්තකාල ආදී සියලු විහාරාංගයන්ගෙන් සම්පූර්ණව සංවර්ධනය වී පැවතීම ඉතා ප්‍රයෝජනවත් වේ. අස්ගිරි විජය සුන්දරාරාම විහාරස්ථානය අස්ගිරි මහාවිහාර මූලස්ථානයේ ප්‍රධාන සිද්ධස්ථානය වශයෙන් ශතවර්ෂ දෙකහමාරකට අධික කාලයක් පුරා සිදු කළ, සිදු කරන ආගමික ශාසනික, හා ජාතික මෙහෙවර අපමණ ය.
අස්ගිරි විජයසුන්දරාරාම, අලුත් විහාරයට අයත් ඉඩකඩම් මධ්‍යම පළාතට අයත් හල්ලොලුව, කහවත්ත, මාතලේ ආදී ප්‍රදේශවල ඇතිබව ශිලාලේඛනයේ සඳහන්වෙන අතර එය අස්ගිරි මහානායක පදවියට අයත්ව පාලනය වේ. පුරාණ විහාරය හෙවත් කුඩා විහාරය ගලගෙදර පන්සලට අයත්ව දෛනික පුදපූජා ආවතේව සිදු කෙරෙන්නේ එම පන්සලේම මහා සංඝරත්නය විසිනි.
අස්ගිරි විජයසුන්දරාරාම විහාරස්ථානයේ සංඝපරම්පරා දෙකකට අයත් ආරාම දෙකක් ඇති අතර ඒවා පිහිට වූ ආදි කර්තෘන්ගේ නාමයෙන් ගලගෙදර පන්සල, ගුන්නෑපාන පන්සල නමින් ප්‍රකට වේ.
මෙහි පුරාවස්තු අතර රාජකීය පීඨය, උඩරට ගිවිසුම අත්සන් කළ මේසය, ඇත්දත් පිළිමය හා පත්තිරිප්පුව ආකෘති ප්‍රතිමා මන්දිරය ප්‍රධාන වේ. මහාවිහාරය පිටුපස ඇති ශිලාලේඛනය මෙම විහාරස්ථානයට අයත් ගොඩමඩ ඉඩකඩම් ප්‍රමාණය, පාලනය, අයිතිය, ආදායම, පුද පූජා පැවැත්වීමාදී සියලු විස්තර සම්පිණ්ඩනය කළ කැඩපතක් වැන්න.
වර්තමාන විහාරාධිපති අස්ගිරි මහා සංඝ සභාවේ කාරක ධුරන්ධර ගරු මොලගොඩ ධම්මරතන හිමියන් ප්‍රධාන පන්සල් දෙකේ මහා සංඝරත්නය විහාරස්ථ ආගමික ජාතික සියලු සේවාවන් ඉෂ්ට සිද්ධ කිරීම කාගේත් ප්‍රසාදයට හේතුවේ.
No comments:
Post a Comment