Friday, August 6, 2010

ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරය

ලංකාවේ වෙහෙර විහාර අතරින් බෙල්ලන්විල රජමහා විහාරය ප්‍රධාන පූජනීය ස්ථානයකි. ඵෙතිහාසික හා සංස්කෘතික අංග ලක්‍ෂණ මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පය නොහොත් වාස්තු විද්‍යාත්මක ලක්ෂණ රාශියක් දක්නට ලැබෙන අතර ඒවා පොළොන්නරු යුගයේ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ නිරූපණය කරයි.බෙල්ලන්විල රජ මහා විහාරයේ ගොඩනැගිලි අංග අතර ප්‍රතිමාඝරය, ස්තූපය, දේවාල මන්දිරය, ධාතු මන්දිරය, කැපී පෙනෙන විහාරංග ලෙස සැලකේ.මෙහි ප‍්‍රතිමාඝරයේ ඉදිකිරීම් 1948 දී සිදුවූ අතර නව ප‍්‍රතිමාඝරයට පෙර බුද්ධ ප්‍රතිමාව තැන්පත් කරවූයේ කුඩා ගොඩනැගිල්ලක් තුළය. පසුව පොළොන්නරුවේ ජේතවනාරාම ගොඩනැගිල්ලේ සැලැස්ම සිහිපත් වන පරිදි නිරිමාණය කෙරිණ. ප‍්‍රතිමාඝරය නොයෙකුත් කැටයම් අංගයන්ගෙන් අලංකාර කර ඇති අතර ඒවා මගින් පොළොන්නරු යුගයේ කැටයම් කලාව සිහිපත් වේ. හස්ති රූප, හංස රූප, භෛරව රූප, මුරගල, සඳකඩ පහණ යන හැම අංගයක්ම පෙර රජ දවස ආභාෂය කොට ඉදිකර ඇත.බෙල්ලන්විල රජමහා විහාරයේ ප‍්‍රතිමාඝරයේ ස්වරූපය බැලූවිට එහි ප‍්‍රතිමාඝරය ඉදිරිපස බිත්තිය මුදුනින් ඉතා අලංකාරවත්ව නිම වූ මකර තොරණක් දෑකගත හෑක. එහි පාදස්ථානයේ පළමුව හස්ති හිස්ද , පසුව වාමන රූප පෙළක්ද ඉන් අනතුරුව හංස පෙළක්ද කැටයම් කර ඇති අතර ඉදිරිපස බිත්තිය දෙසට වන්නට ඉතා අලංකාර මුල්ගල් දෙකක් ඇත. මුරගලට ඉහළින් හංස පෙළක් ඇති අතර හංස මුවින් නෙළුම් පොහොට්ටුවක් රැගෙන යන ආකාරය දක්නට ලැබේ. ඉදිරි බිත්තිය මත ලංකාවේ අනුරාධපුර යුගයේ සිට රජ කළ රජවරුන්ගේ පිළිරූ නිර්මාණය කර ඇත.ගෘහය ඇතුළත, අනුරාධපුර යුගයේ අවුකන බුදුපිළිම ආකෘතියට අනුව නිර්මාණය කොට ඇති දහඅට රියන් උසැති බුදු පිළිමයකි. මෙම පිළිමයට පිටුපසට වන්නට අඩි 27 කින් යුත් පිරිනිවන් මංචකය ඉදිකර ඇති අතර එය පොළොන්නරු යුගයේ ගල් විහාරයේ පිරිනිවන් මංචකයේ පිළිරුව ආකාරයට නිර්මාණය කර ඇත.බෙල්ලන්විල රජමහා විහාරයේ ස්තූපය ඝන්ඨාකාර හැඩයෙන් යුක්තය.එය අටපට්ටම් වේදිකාවක් මත පිහිටා තිබෙන ස්තූපය පේසා වළලු 3 න් ද , ගර්භයෙන්ද , හතරැස් කොටුවෙන්ද, දේවතා කොටුවෙන් ද කොත් කැරැල්ලෙන්ද කොතින්ද, සිළුමිණෙන්ද යුක්තය. ඊට අමතරව වැලිමළුව , වාහල්කඩ, චිත‍්‍ර හා කුළුණු යන උපාංගද බෙල්ලන්විල රජමහා විහාරය සතුව ඇත. විහාර මන්දිරයට පිටුපස ඇති ස්තූපය වඩා විශාල නොවූවකි.දේව මන්දිරය ඉදිකොට ඇත්තේ පොළොන්නරු යුගයේ කලාංග උපයෝගී කොට ගෙනයි. ඒ ඒ දෙවියන් වෙනුවෙන් වෙන් වුණු දේව කුටි වලින් සමන්විත දේව මන්දිරය තුළ බෙල්ලන්විල විහාරයේ ආරම්භක අවදියේ තිබූ කුඩා විහාර ගෙයද වේ. මෙම කුඩා විහාර ගෙය වටකොට දේව මන්දිරය ඉදිකොට ඇත.බෝධි වෘක්ෂය උස්වූ මළුවක රෝපණය කර ඇත. බෝධි වෘක්ෂය වටා රන් වැටකින් වට කොට ඇත. බෝධිය වටා ප්‍රාකාරය ඉතා විසිතුරු කැටයමින් අලංකාරවත්ව නිමවා ඇත.බෙල්ලන්විල රජමහා විහාරයේ ගෘහ නිර්මාණ ශිල්පයට විශේෂ ස්ථානයක් හිමිවන අතර ධාතු මන්දිරය සහිත සීමා මාලකයත් , සංඝාවාසයත් , දෙමහල් ධර්ම ශාලාවත්, ගන්ඨා කුළුණත්, යනාදී අංගද ඇතුළත්වේ. මේවා මගින් වාස්තු විද්‍යාත්මක ලක්ෂණ පෙන්නුම් කරන අතර බෙල්ලන්විල රජමහා විහාරයේ ඵෙතිහාසික පෞඪත්වය ද ඉස්මතු වේ

No comments:

Post a Comment